ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ ගුණ සමරමු - Chandrarathna Manawasinghas 49 th commemorate

Posted by Unknown on Friday, October 4, 2013 0

කවියෙකු, ගීත රචකයෙකු  සහ පුවත්පත් කලාවේදියකු වූ චන්ද්‍රරත්න මානවසිංහයන් ගේ ගුණ සැමරුම්  දිනය අද ඔක්තෝබර් 4 වනදාට යෙදී තිබෙනවා 
 
චන්ද්‍රරත්න මානවසිංහ මහතා  ලංකාදීප පුවත්පතෙහි කර්තෘ මණ්ඩලයේ ද සේවය කරමින් ලියු වගතුග  තීරු ලිපි ඉතා ඉහල පාඨක ප්‍රතිචාරයක් ලබා ගැනීමට සමත් උනා . ඔහු රචනා කළ ගීත රැසක් ගුවන් විදුලිය ඔස්සේ රසවිඳීමට මෙරට ශ්‍රාවකයින්ට අවස්ථාව උදාවිය. ඒ  අතර ම ඔහු ගුවන් විදුලියට ගීත නාටක කලාවක් ද හඳුන්වා දුන්නේය. මනෝහාරී එහි ප්‍රථම ගීත නාටකයයි.  

ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ වර්තමාන සිංහල ගී සින්දු හෙවත් ගේය පද සාහිත්‍යයේ පුරෝගාමියකු ලෙස හැඳින්විය හැකියි. වසර 51ක් වූ ඔහුගේ කෙටි ජීවිත කාලය තුළ ඔහු පත‍්‍රකලාවේදියකු ලෙස නව ආරක පුවත්පත් කලාවක් ද හඳුන්වා දුන්නා. ‘ලංකාදීප’ය සිංහල පුවත්පත් නව මඟකට ගෙන යද්දී ඔහු ඊට උර දුන්නා  

ඔහු දකුණු පළාතේ බෙලිඅත්තට නුදුරු පුවක්දණ්ඩාව ගමේ උපන්නේ 1914 ජූනි 19 වැනිදායි. ඔහු මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ බෙලිඅත්තේ ශී‍්‍ර පඤ්ඤානන්ද විදුහලෙනි. ඒ කාලයේ ම ඔහු එම ප‍්‍රදේශයේ ප‍්‍රකටව සිටි ජී.පී. පියදාස කවියාගෙන් කාව්‍ය ශාස්ත‍්‍රය ඇතුළු ප‍්‍රාචීන භාෂා පිළිබඳ දැනුම ලබා ගත් බව සඳහන් වෙනවා.

ඔහු 12 හැවිරිදිව සිටියදී පුවක්දණ්ඩාවේ සාරානන්ද නායක හිමියන් ඇසුරේ පැවිදි බිමට ඇතුළත් වුවද වැඩි කලක් සිවුරේ රැඳුණේ නැත. කතරගම කිරිවෙහෙර අසල විහාරස්ථානයේ කෙටිකලක් සාමනේර නමක් ලෙස වැඩි සිට සිවුර හැර දමා ගිය ඔහු ඊළඟට මීගමුවේ අඟුරුකාරමුල්ලේ පන්සලේ දී යළිත් වරක් පැවිදි වුණා. මෙසේ දෙවරක් ම උපැවිදි වූ ඔහු ඊළඟට කළේ ඉන්දියාවට ගොස් වංග (බෙංගාලි) හා හින්දි භාෂාත් භාරත සංස්කෘතියත් හැදෑරීමයි. 

පෙරළා ලංකාවට පැමිණි ඔහු එවකට පැවති ‘හෙළදිව’ පුවත්පතෙහි සංස්කාරක මණ්ඩලයට එක් වුණා. එසේ පත‍්‍රකලාවේදියකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු 1944 දී විවාහ දිවියට ඇතුළත් වුණා. ඒ මාතර කපුගම ශී‍්‍රමතී වසන්ත කුමාරි හේවාකළුගමගේ සමගයි. ඔහු ‘ලංකාදීප’ පත‍්‍රය හා එක් වන්නේ 1947 දී එහි ආරම්භයත් එක්කයි. ඔහුගේ නිර්මාණශීලිත්වයේ ඵල නෙළා ගැනීමට සිංහල පාඨකයන්ට අවස්ථාව ලැබෙන්නේ ඉන්පසුවයි.

‘ග‍්‍රැමෆෝන් යුගයේදී අනුකාරක මාවත ඔස්සේ ගමන ආරම්භ කළ ආනන්ද සමරකෝන් එයින් මිදී, අපේ පා බිම තබා ගමන් කළ හැකි ගල් මුල්වලින් තොර මාර්ගයක් ඉදි කළේය. ඒ මාර්ගයෙහි වූ වළ ගොඩැලි ඉවත් කොට, යහපත් මාවතක් ගී සින්දු ලෝකයට තනා දුන්නේ ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ මහතාය.’ යනුවෙන් මඩවල ඇස්. රත්නායක ඔහුගේ ‘ගී සින්දු සාහිත්‍ය’ නම් කෘතියෙහි සඳහන් කර තියෙනවා.

මානවසිංහයන්ගේ නිර්මාණශීලිත්වය හඳුනා ගන්නත් ඒ නිර්මාණවල රස විඳින්නත් හොඳම මග ඒ නිර්මාණ  කිරීමයි. විවිධ පැතිකඩ ඔස්සේ ඔහු දැක්වූ  ප‍්‍රතිභාව අති විශිෂ්ටයි 

මානවසිංහයන් සිය අදහස් ප‍්‍රකාශනය සඳහා කවීන් විසින් සුලබව භාවිතයට නොගන්නා වදන් යොදා ගැනීමට අති දක්ෂයෙක් .සමහර ඒවා අප දන්නා වදන් වුනත් ඔහු ඒවා එක්කරන්නේ එතෙක් නොලද රසයක් ජනිත කරවීමටයි. ඔහු ‘ලංකාදීපය’ට ලියූ බොහොමයක් කවි පළ වූයේ ‘සඳරුවන්’ යන නමිනුයි.     
වෙසක් මිහිර

කුසුම් පිපී අතු පතරේ සතර දිගන්තේ
කෝකිල කූජනය නැගේ මධුර වසන්තේ

ගලන ඇලේ හෙළ පහරේ පෙණ පිඬු පාවේ
පැයෙන් පැයට විසිතුරු සුදු බුදු රැස් ගෑවේ

වන වදුලේ ගස් මුදුනේ පුන් සඳ එළියේ
ඈත පෙනේ ළපළු රැඟුම් මඳ සිලි සිලියේ

නැටෙන ජලේ කමල දලේ දිය බිඳු සෙලවේ
බුදු ගුණ ගීයක තාලය හෙමිහිට මතුවේ

මහ කරුණා මෙත් සිසිලයි සුළඟ ගෙනෙන්නේ
මහමුනි මහමුනි කියලයි කොළ නැටවෙන්නේ

ලේන පැටවු කයිතාලම් ජයට ගයද්දී
කුරුල්ලනේ ගීත ගයවු වෙසක් ලබද්දී

මෙවන් රස පූර්ණ ගීත ඇතුළත් ගීත නාටක රාශියක් නිර්මාණය කළ මානවසිංහ එක් වරම හදිසියේ ම ගුවන් විදුලියට ගීත නාටක ලිවීම නතර කර දැම්මා. ඒ තමාගේ නව නිර්මාණයක් වූ ගීත නාටක ලිවීමට තවත් අයටත් අවස්ථාව ලබා දීමට ගුවන් විදුලියේ පාලන අධිකාරිය තීරණය කිරීමත් සමගයි. ඒ නිසා ඔහුගේ නිර්මාණවල අපූර්වත්වය දකින්නට ඉන්පසු අපට අවස්ථාවක් සැලසුණේ නැත.

වසර දසක දෙකක් වැනි කෙටි කාලයක් තුළ මානවසිංහයන් ගීතයට කළ මෙහෙය වෙනත් කිසිවකු නොකළ තරම් විශාලයි. අනූපමයි. අද මේ නිර්මාණ බොහොමයක් පොත් වශයෙන් පළ වී තියෙනවා. ඒ නිසා නව නිර්මාණකරුවන්ටත් ගී රස විඳින්නන්ටත් ඉන් ලද හැකි ප‍්‍රයෝජනය අති මහත් බව කිව හැකියි.
ඔහු 1964 ඔක්තෝබර් 04 වන දින සදහටම මෙලොවින් සමු ගන්නා විට 50 වියේ පසු උනා මේ ඔහුගේ 49 වන ගුණ සැමරුමයි. 


Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top